Followers

Sunday, 29 November 2020

අධ්‍යාපනය හා සන්නිවේදනය


 කිසියම් රටක අධ්‍යාපන සමාජ සංස්ථාව ක්‍රියාත්මක වන්නේ ඒ රටේ පවතින සමාජ ක්‍රමය මත යැයි නිගමනය කළ හැකි ය. අධ්‍යාපනය තුළින් බලාපොරොත්තුවෙන් වනුයේ " උසස් තත්ත්වයක් ලගා කර ගැනීමයි". එම තත්වය ලබා ගැනීමට එම සමාජ ක්‍රමය සතුව ශික්ෂණයක් තිබිය යුතු ය. ශ්‍රී ලාංකේය සමාජ ක්‍රමය තුළ ඉගෙන ගැනීමට (Learning ) අවශ්‍ය ශික්ෂණය ලබා දෙනුයේ ආගමික චින්තනය මගින් ය. එම නිසා යමක් නොදන්නා කෙනෙකු ඉගෙනුමක් ලබා ගැනීම යනු අධ්‍යාපනය නම් වන අතර එහිදී උගන්වන ගුරුවරයා සහ  ඉගෙනුම ලබන ශිෂ්‍යයා සමීපත්වයක් ගොඩනගා ගන්නා අතර,  එම සමීපත්වය තුළ සන්නිවේදනයට සුවිශේෂී තැනක් හිමි වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සන්නිවේදන දර්ශනය ඉතා වැදගත් වේ. සමාජයක් තුළ වර්තමානයේ පවතින සමාජ සංස්ථා අතර අධ්‍යාපනික සමාජ සංස්ථාව තුළ හඳුනාගත හැකි අධ්‍යාපනික ප්‍රභේදයන් ලෙස,  

01. විධිමත් අධ්‍යාපනය ( Formal Education)

02. නොවිධිමත් අධ්‍යාපනය ( Non Formal Education)

විධිමත් අධ්‍යාපනය තුළ තිබෙන්නා වූ විෂය මාලාව සතු සන්නිවේදන දර්ශනයක් හඳුනා ගත හැක. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර  මෙම සන්නිවේදන දාර්ශනික පසුබිම දැකිය හැක. එලෙසම නොවිධිමත් අධ්‍යාපනය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද මෙය දැකිය හැක.

සමාජානුයෝජනය ( sociolisation) යන සංකල්පය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම දැකිය හැක. ඒ අනුව ප්‍රාථමික මානවයා තම පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් දැනුම සොයා යෑම සිදු කරන ලදී. එහිදී සමාජානුයෝජනය ප්‍රබල විය. සැබැවින්ම සමාජානුයෝජනයේදී සිදුවූයේ සමාජය අපේක්ෂා කරන තත්ත්වයකට මානවයා අනුවර්තනය කිරීමකි. මෙම ක්‍රියාවලියේදී  සමාජ සන්නිවේදනය පුළුල් ලෙස භාවිතා කරන ලදී. මෙය පහත දැක්වෙන උදාහරණයෙන් පැහැදිලි වේ. 

ස්වදේශිකත්ව අන්තර් ඥානය තුළ ජන වෙදකමට සුවිශේෂී තැනක් හිමිවේ. මෙම වෙදකම පරපුරෙන් ගමන් කළේ සමාජ සන්නිවේදනය නිසා ය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන  දැනුම නොහොත් ස්වදේශිකත්ව අන්තර් ඥානය ( Indigenous Knowledge) තුළ තිබෙනුයේ සමාජ සන්නිවේදනය ක්‍රියාවලියයි. මෙම දැනුම සම්භාරය යම් විකෘතියකට ලක්වන්නේ නම් ලක් වන්නේ නම් එසේ වනුයේ වෙනත් සමාජ ක්‍රමයක ආභාෂයට අනුවය. 

ස්වදේශික හෝ විදේශික යන භේදයකින් තොරව සාක්ෂරතාවය (Literacy) ලබා ගැනීම යනු සහපත් සමාජ මානවයෙක් ගොඩනැඟීමකි. සාක්ෂරතා සංකල්පයේදී අධ්‍යාපනය සුවිශේෂි වේ. ඒ අනුව අධ්‍යාපනයට සන්නිවේදන දර්ශනයක් තිබිය යුතුය. සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ සන්නිවේදන දර්ශනය දැකිය හැකි ද? එසේ නම් එය වර්තමානයට ගළපා ගත යුතුද? උදාහරණයක් ලෙස,

           * ස්වදේශිකත්ව අධ්‍යාපනය තුළ හඳුනා ගත හැකි " සකස්කඩ"," බුද්ධ ගජ්ජය", " ගණ දෙවි හෑල්ල" හා " වදන් කවි" වැනි ග්‍රන්ථ ඉතා වටිනා මූලාශ්‍රයන් ය.⁣ මෙම මූලාශ්‍රයන් තුළ තුළ පැහැදිලිවම ස්වදේශිකත්වය අධ්‍යාපනයේ සන්නිවේදන  දර්ශනය හඳුනාගත හැක. පහත දැක්වෙනුයේ වදන් කවි පොතේ එක් කවියකි. 

   එක මත ලුහු යැ යි දැන        කියමින්නෙ

   යුග මත දිගු  යැ යි ගුරු         පවසන්නේ 

   වෙනමත තුනකින් පුලුත      කියන්නේ 

   අඩ මත දැන ගන් හසකුර     යන්නේ

මාත්‍රා එකක් ඇති අක්ෂරය ලඝු හෙවත් ලුහු නමින්ද, මාත්‍රා දෙකක් ඇති අක්ෂරය ගුරු හෙවත් දිගු නමින් ද , මාත්‍රා තුනක් ඇති අක්ෂරය පුලුත නමින් ද හඳුන්වනු ලැබේ. හල් අකුරුවල ඇත්තේ මාත්‍රා භාගයක් හෙවත් දෙකෙන් පංගුවකි.

මෙයින් ගම්‍ය වනුයේ ස්වදේශිකත්ව අධ්‍යාපනික සන්නිවේදන දර්ශනයයි. එසේ නම් වර්තමාන අධ්‍යාපනයටද වඩාත් යෝග්‍ය අධ්‍යාපනික සන්නිවේදන දර්ශනයක් අවැසි නොවේ ද ?

                               - ඉන්දික දිසානායක -



   



Wednesday, 25 November 2020

ආගම හා සන්නිවේදනය


 සමාජ සංයුක්ත භාවය නිර්මාණය වනුයේ සමාජ සංස්ථා එකතු වීමෙනි. සමාජ සංස්ථා වක් වන ආගම සහ සන්නිවේදනය අතර පවතිනුයේ සමීප සබදතාවයකි. ජනශ්‍රැති අධ්‍යයනයේදී  මේ බව මනාව තහවුරැ වේ. එහිදී හමු වන යාතුකර්ම පිළිබඳව විශ්ලේෂණය කිරීමේ දී මෙම පසුබිම මැනවින් හඳුනාගත හැකිය. ආගමික පසුබිම හා යාතුකර්ම එකිනෙකින් වෙන් කිරීම සිදු කළ නොහැකිය.

සන්නිවේදන ශක්තිය යන්න සමාජ සංස්ථාව තුළ රැදී පවතින්නේ හුදෙක්ම ආගමික සිද්ධාන්ත පද්ධතියක් සමඟය. මේ බව සනාථ වනුයේ " ගිලන් වූ ගත මෙන්ම ගිිිලන් වූ සිත ද සන්නිවේදන ශක්තියකින් සුවපත් කළ හැකිය" යන්න තේමාව මතය. පුද්ගලයාගේ මනස ඒකාග්‍රතාවයකින් පවත්වා ගැනීම සඳහා ධර්ම සන්දේශයන් බෙහෙවින් හේතු විය.  

සාහිත්‍ය කලා විෂයන් තුළට ධර්ම සන්දේශයන් ඇතුළත් කරන ලද්දේ මානව අවශ්‍යතාවයන් උදෙසාය. ඕනෑම සමාජයන් තුළ බිහි වූ ප්‍රාථමික නිර්මාණයන්ගේ මූලාශ්‍රය වූයේ ධර්ම සන්දේශයන්යය. සෑම ජන සංස්කෘතියක් තුළ තිබෙන්නා වූ ජනශ්‍රැතිය තුළ මූලාශ්‍රයන් වූයේ ධර්ම සන්දේශයන්ය. 

උදාහරණ - ජන කතාව, ජන කවිය, ජන ගායනය, ජන රංග වැනි නිර්මාණයන් තුළ දී ධර්ම සන්දේශ වල ආභාසය දැකිය හැක. විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය තුළ ද ආගමික පසුබිම මැනවින් හඳුනාගත හැකිය. ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී ඉගෙනුම් ප්‍රවේශයන්ගෙන් තොරව ආගමික පසුබිම තුළින් මූලික වනුයේ  " මානවයාගේ යහපත් දිවි පැවැත්මට මනස මුල් කොට ගෙන සිය දිවි පැවැත්ම නිර්මාණය කර ගැනීමයි" 

ඕනෑම ආගමික දර්ශනයකින් සිදු වනුයේ සමාජයේ පවතින විෂම වූ තත්ත්වයන් වෙනස් කිරීම සඳහා සන්නිවේදන ක්‍රියාවලියක් නිර්මාණය කිරීමයි. මෙහි දී සන්නිවේදන ක්‍රියාවලිය මගින් පුද්ගලයාගේ සිත, කය, වචනය සංවර කර ගැනීම උදෙසා ක්‍රියාත්මක විය. සමාජයේ වඩාත් හොඳ දිවි පැවැත්මක් උදෙසා මානවයා සිිිත හික්මවා ගත යුතුය. පුද්ගලයාට තනිව කළ නොහැකි බොහෝ කාර්යයන්   ඔහුට වඩා චිත්ත ශක්තියක් ඇති පුද්ගලයෙකුට කළ හැකි යැයි විශ්වාස කරනු ලබයි.

උදාහරණ - පෙළහර පෑම නොහොත් අධි මානසික බලයක් ක්‍රියාත්මක වීම.

ආගමික සන්නිවේදනයේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික ශික්ෂණය ලබා ගත හැකිය. මෙසේ ලබා ගන්නා ශික්ෂණය පුද්ගලයාගේ ඉගෙනුම් ක්‍රියාවලියට ද ඉතා ප්‍රයෝජනවත් වේ. 

                                     - ඉන්දික දිසානායක -                   

                                            

Saturday, 21 November 2020

සාහිත්‍ය හා සන්නිවේදනය


 මානව සමාජය තුළ කලාව, සාහිත්‍ය, සෞන්දර්ය හා සංස්කෘතිය සුවිශේෂී  වේ. මෙම විෂයයන් තුළ සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ බොහෝ සංකල්පයන් හඳුනා ගත හැක. ඒ අනුව,

        01. කලාව සහ සන්නිවේදනය.

        02. සාහිත්‍ය හා සන්නිවේදනය.

        03. සෞන්දර්ය හා සන්නිවේදනය.

        04. සංස්කෘතිය හා සන්නිවේදනය.

ඉහත සඳහන් විෂයන් තුළ සන්නිවේදනයේ දාර්ශනික පසුබිම හඳුනාගත හැකිය. 

මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම උදෙසා මානව චින්තනය, අක්ෂර මාලාව පදනම් කර ගත් දැනුම ඉතා වැදගත් විය. මිනිසා විසින් අක්ෂර මාලාවක් නිපදවා ගැනීම ඔහුගේ චින්තනය සංවර්ධනයට මූලික වශයෙන් දායක විය. එසේ වූයේ මානව චින්තනය ලේඛනය ඔස්සේ සටහන් කළ හැකි නිසාය. ලේඛනයේ දියුණුවත් මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් නිසා සාහිත්‍ය තුළ අන්තර්ගත වන සන්නිවේදන දර්ශනය විවිධ වෙනස්වීම් වලට ලක් වෙන ලදී. 

මිනිස් සමාජය සාක්ෂරතාවයෙන් දියුණු වෙත්ම ලිවීම, කියවීම සහ ශ්‍රවණය ඔස්සේ සාහිත්‍ය තුළ ගැබ් වූ සන්නිවේදන දර්ශනය ගොඩ නැගිණි. සංස්කෘතික මානව විද්‍යාව තුළ පුළුල් වූ සන්නිවේදන ක්‍රියාවලියක් අපට හඳුනාගත හැකිය. 

නිර්මාණාත්මක බව මානවයාට සුවිශේෂී වූයේ භාෂා භාවිතය සමඟය. ඒ අනුව මිනිසා සතු සාහිත්‍ය ධාරාවේ ඉහළම ඵලය වූයේ නිර්මාණාත්මක සන්නිවේදනයයි. නිර්මාණාත්මක සන්නිවේදනයේ මූලයන් වූයේ ජන කතාව, ජන කවිය, ජන ගායනා... පාදක කර ගත් ජනශ්‍රැතියයි. ජනශ්‍රැතිය වූ කලී අතීත, වර්තමාන හා අනාගත මානව නිර්මාණයන් කෙරෙහි බලපාන සමාජ ප්‍රපංචයකි. 

Raymond Williams නම් වූ සන්නිවේදන විශාරද වරයාගේ ප්‍රමුඛ කෘතියක් වන " Communications" කෘතියේ සඳහන් වනුයේ සන්නිවේදනය වූ කලී යම් කිසි දර්ශනයක් සමඟ ඒකාබද්ධ වන සංකල්පයක් බවයි.. 

සාහිත්‍යකින් තොරව සැබෑ මානව සමාජයක ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක. සාහිත්‍ය තුළ තිබෙන්නා වූ සන්නිවේදන ක්‍රියාවලිය සබෑ මානව සමාජයක් නිර්මාණය කිරීමෙහිලා ඉතා වැදගත් වන බව නොඅනුමානය.

                                       - ඉන්දික දිසානායක -

 


Wednesday, 18 November 2020

සන්නිවේදනය හා මානව විද්‍යාව.


 

මානව විද්‍යාව යන්න ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී ඉගෙනුම් සංකල්පයන් තුළ භේදයකින් තොරව හඳුනාගත හැකි සංකල්පයකි. මානව විද්‍යාව යනු, මානව සමූහයාගේ සම්භවය, පැවැත්ම හා සමූහයන්ට බෙදී  යාම වෙනුවෙන් පවත්වන ලද පර්යේෂණ පදනම් කර ගෙන නිර්මාණය වූ විෂය ධාරාවකි. සැබැවින්ම මානව විද්‍යාව යනු දැනුම් ක්ෂේත්‍රයකි. " දැනුම " යන සංකල්පය මානවයා විසින් ගොඩ නගන ලද විශිෂ්ටතම වූ සමාජ ප්‍රපංචයකි. 

දැනුම හා තොරතුරු අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවයකි. බර්ට්‍රන්ඩ්  රසල් නම් වූ  දාර්ශනිකයා දැනුම සහ තොරතුරු අතර පවතින සම්බන්ධතාව පිළිබඳව පර්යේෂණ කරන ලදී. ඔහුගේ දාර්ශනික විග්‍රහයට අනුව,                                   

01. තොරතුරුවල සැගවුණු ඥාානය කොහේද?

02. ඥාානය සැගවුණු තොරතුරු කොහේද?

මෙම දාර්ශනික චින්තනය පාදක කර ගෙන දැනුම් ක්ෂේත්‍රය යන්න ක්‍රමයෙන් සාමාජීය භාවිතයට පැම්ණෙන  ලදී. දැනුම සොයා යෑම යන්න ආගමික ශික්ෂණයකින්  සිදු කළ වූවක් විය. එමෙන්ම පෙරදිග හා අපරදිග රටවල ආගමික ශාස්තෘවරුන්ගේ දේශන තුළද අන්තර්ගත විය.

දැනුම් ක්ෂේත්‍රය යන්න ගතික වේ. එය දිනෙන් දින වර්ධනය කර ගත යුතු සංකල්පයකි. සමාජීය පරිණාමයේ විවිධ අවස්ථාවන් වල ඥාන ගවේෂණය ආකාර දෙකකට සිදුවෙන ලදී.

          01. න්‍යායික දැනුම 

          02. ව්‍යවහාරික දැනුම

ව්‍යවහාරික මානව විද්‍යාඥයන් සන්නිවේදනය යන්න වෙනුවට විඥාපනය යන්න  භාවිතයට ගැනීමට උත්සුක වූහ. ඔවුුුුුුුුුුුන්ගේ දැක්මට අනුව විඥාපනය යන්නෙහි අර්ථය "ඥාානය " හෙවත් දැනුම ලබා ගැනීම යන්නයි. 

ග්‍රීක දර්ශනයේ පදනම වනුයේ ද දැනුම සොයා යෑම යන්නයි. තොරතුරු එක් රැස් කර ගත් පමණින්ම දැනුම ලබා ගත හැකිද? එසේත් නැත්නම් දැනුම ලබා ගැනීම සඳහා තොරතුරු ගවේෂණය කළ යුතු නොවෙයිද? 

මානව විද්‍යාවේ  ප්‍රභේදයන් දෙක වන භෞතික මානව විද්‍යාවත් , සංස්කෘතික මානව විද්‍යාවත් එකට බැඳ තබනුයේ සන්නිවේදනයයි. මෙම ප්‍රධාන විෂය ධාරාවන් දෙකම සන්නිවේදන අධ්‍යයනයේ දාර්ශනික පසුබිම නිර්මාණය කරයි. මෙම ප්‍රධාන විෂයයන් දෙක අධ්‍යයනය කිරීමෙන් සන්නිවේදනයේ මූලිකාංග හඳුනාගත හැකිය. එනම්,

  සන්නිවේදකයා ->සංදේශය -> ග්‍රාහකයා

  (Sender)               (Message)     (Receiver)

මෙම සන්නිවේදන ආකෘතිය තුළ විද්‍යාත්මක පදනමක් දැකිය හැක. මේ අනුව තොරතුරු සම්පාදනය ට වඩා ඥාන ගවේෂණය එම සීමාව ඉක්මවා  පැවති  අවබෝ⁣යක් ලෙස විග්‍රහ කළ හැක.

තොරතුරු සෙවීම ප්‍රාථමික  මානවයාට    පමණක් සීමා නොවූවකි. සෙසු සත්ත්වයන් ද තොරතුරු සෙවීම සිදු කරන ලදී. නමුත් මානවයා සෙසු සත්ත්වයන්ට වඩා උසස් දැනුමක් ලද හෙයින්, මානවයාගේ නිරීක්ෂණය ප්‍රබල හෙයින් එයින් ලබන පරිකල්පනය පාදක කර ගෙන නිර්මාණයන් සිදු කරන ලදී. මෙය සත්ත්ව පරිණාමය තුළ මානවයා ඉහළම තත්ත්වයකට පැමිණීමට හේතු සාධක විය. මෙම සාධක පදනම් කර ගෙන තොරතුරු ගවේෂණය මානවයාගේ අසීමිත කාර්යයක් බවට පත් විය. 

මෙයින් ගම්‍ය වනුයේ සන්නිවේදන අධ්‍යයනයේ දාර්ශනික පසුබිම ගොඩ නැගීමට උපකාරී වනුයේ ව්‍යවහාරික මානව විද්‍යාව බවයි.  

                                       - ඉන්දික දිසානායක -



Sunday, 15 November 2020

සන්නිවේදනයේ ඉගෙනුම.


 

සන්නිවේදන අධ්‍යයනය දාර්ශනික පසුබිමකින් යුක්ත විෂයකි. එම විෂය අධ්‍යයනයේදී අපට හමු වන සංකල්ප දෙකක් ලෙස,

      01. ප්‍රාචීනවාදී සන්නිවේදන සංකල්පය

      02. ප්‍රතිචීනවාදී සන්නිවේදන සංකල්පය 

හැදින්විය හැක. සන්නිවේදන අධ්‍යයන විෂය තුළ මෙම සංකල්ප දෙක එකට එකතු වී සහ නොවී ක්‍රියාත්මක වන අවස්ථා හඳුනාගත හැක. ප්‍රාචීනවාදී සන්නිවේදන ඉගෙනුම් වලට අනුව සෑම විටම අදහස් කරනුයේ සමාජයේ සිටින පුද්ගලයාගේ හැසිරීම ධනාත්මක කිරීමයි. මෙහිදී සෑම විටම පුද්ගලයාගේ අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරනු ලබයි. පුද්ගලයාගේ අධ්‍යාත්මය වඩාත් හොඳ වීමට නම්, ඔහු සමාජය තුළ පිළිබිඹු කරන චර්යාවන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. ප්‍රාචීනවාදී සංකල්පය තුළ ප්‍රබලතම මූලාශ්‍රය ගුරුවරයාය. එම නිසා ගුරුවරයාගේ ඇසුර ලබමින් පුද්ගලයා දැනුම ලබා ගනී. ඒ ඔස්සේ තම චර්යාවන් නිර්මාණය කර ගනී. 

උදාහරණ - දිසාපාමොක් ඇදුරිදු භාවිතා කරන ලද සන්නිවේදන ආකෘතිය.

මෙහිදී දිසාපාමොක් දැනුමෙන් පරිපූර්ණ වූ අතර සෑම විටම උත්තම විය. මේ ඔස්සේ ශිල්පය ලබන සිසු පරපුර විනයකින් යුක්ත ග්‍රාහකයන් විය. දිසාපාමොක් ශිල්පය ලබා දෙන ස්ථානය තක්සලාව නම් විය. ග්‍රීසිය නම් රාජ්‍යයේ මෙවැනි ස්ථාන තිබූ බවට සාක්ෂි ඇත. ඒවා Academy හෝ Lyceum යනුවෙන් හදුන්වන ලදී.

ප්‍රතිචීනවාදී සන්නිවේදන ඉගෙනුම්වල දැක්ම වනුයේ " ඥාණයට දර්ශනයක්" යන්නයි. මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ලද්දේ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඔහු විසින් පරම්පරාවෙන් පරම්පරාවට ඥාණය ගලා යන ආකාරය දාර්ශනිකව විග්‍රහ කරන ලදී. ඒ සඳහා ඔහු විසින් සන්නිවේදන ආකෘතියක් නිර්මාණය කරන ලදීී. ඇරිස්ටෝටල්ට අනුව සන්නිවේදනයේදී ග්‍රාහකයාගේ භූමිකාව සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්⁣බට ගොස් අවබෝධයකින් යුක්ත ග්‍රාහකයෙක් වීමට ශ්‍රවණය ප්‍රගුණ කළ යුතුය. ඒ අනුව ගුරුවරයා සහ ශිෂ්‍යයා තුළින් සන්නිවේදන ග්‍රාහක පරපුරක් නිර්මාණය කරන බවයි. ඇරිස්ටෝටල්ට සමගාමීව  සොක්‍රටීස් සහ ප්ලේටෝ ද  මෙම මතය දරන ලදී. ප්ලේටෝ ගේ සටහන් නම් කරනු ලබන්නේ " සංවාද" සහ " කතිකා" යන නමිනි. 

බුද්ධ කාලීන භාරතයේද " සංවාදය" සන්නිවේදන ක්‍රමවේදයක් විය. ග්‍රීක දර්ශනයේ මෙන්ම භාරත දර්ශනය තුළද සංවාදය විවිධ ඉගෙනුම් කාර්යයන් සඳහා භාවිතා කරන ලදී. 

සන්නිවේදන අධ්‍යයනයේ ඉගෙනුම් සංකල්පය භාරතීය සහ ග්‍රීක දර්ශනයන්ගෙන් පෝෂණය වී ඇති බව ඉහත කරුණු අනුව ගම්‍ය වේ. 

                                        - ඉන්දික දිසානායක -


Friday, 13 November 2020

සන්නිවේදනයේ සුන්දරත්වය


 සංස්කෘතික මානව විද්‍යාව තුළ මිනිසාගේ සිතුවිලි, ආත්මීය, අධි මානසික, ආගමික හා විනෝදාස්වාදී... යන ක්‍රියාකාරකම් දැකිය හැකිය. මානව සමාජය සතු මෙම ක්‍රියාදාමයන් ඔස්සේ සුන්දරත්වය නිර්මාණය වෙයි. සෞන්දර්ය හෙවත් සුන්දරත්වය තුළ සංස්කෘතික සාධකයන්හි බලපෑම ඉතා ප්‍රබලය. 

සුන්දරත්වය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් "Aesthetic "  සහ " Beauty " යන  පදයන් භාවිතා කරන අතර වාග් විද්වතුන්ගේ අදහස වනුයේ ඉහත පද දෙකෙන්  සමාන අර්ථ සේම එක් යෙදුමකින් හැඟවෙන  අර්ථය අභිබවමින් අනෙක් පදයෙන් අර්ථය  ඉස්මතු කරන බවයි.

සන්නිවේදනය අරමුණු අතර තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය, පෙළබවීම හා විනෝදාස්වාදය ප්‍රමුඛ වේ. මේ අනුව ජන සන්නිවේදන සිද්ධාන්තයක් ලෙස සැලකෙන විනෝදාස්වාදී න්‍යායන් හි පදනම වනුයේ සුන්දරත්වය හා සෞන්දර්යයයි. 

ආනන්ද කුමාරස්වාමි පවසන ආකාරයට සුන්දරත්වය යනු තත්ත්වයකි. එලෙසම නොබෙල් සම්මානලාභී ඇලෙක්සැන්ඩර් සෝල්සනිට්සින් ට අනුව සුන්දරත්වය මඟින් ලොව රැක දෙන බවයි. සුන්දරත්වය වූ කලී දාර්ශනික සංකල්පයකි. එය ගැඹුරුතම සන්නිවේදන ක්‍රියාවලියක මූලික හරය වන්නේය. 

සන්නිවේදන කාර්යයක් වන තොරතුරු සම්පාදනයෙන් ඔබ්බට ගිය අදහසක් සුන්දරත්වය තුළ පවතියි. එය වූ කලී භෞතික වශයෙන් තොරතුරු සම්පාදන මට්ටම ඉක්මවා ගිය අවස්ථාවකි. එබැවින් එය සන්නිවේදන දර්ශනයක් වන්නේ ය. 

කුමන මාධ්‍යයක් පදනම් කරගෙන වුවද නිර්මාණය වන සන්දේශය තුළ සුන්දරත්වය අන්තර්ගත කළ හැක. උදාහරණ ලෙස ගත් විට  පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව හා නව මාධ්‍ය තුළ අප නිර්මාණය කරන සන්දේශය සුන්දරත්වයකින් යුතු සන්දේශයන් බවට පත් කිරීමට අපි උත්සාහ කළ යුතු වෙමු. එවිට ග්‍රාහකයාගේ සංජානනය සහ විචාරශීලිත්වය ද වර්ධනය වන බව නොඅනුමානය. 

සියලු කලාවන් තුළ සුන්දරත්වය ඇත්තේ ය. සෞන්දර්යයේදී සිදු කරනුයේ කලාත්මක නිර්මාණ ලස්සන හෝ අවලස්සන ලෙස දැක්වීමයි. කලාත්මක නිර්මාණයක් එසේ දැක්වීම සඳහා යොදා ගත හැකි නිශ්චිත මිනුම් දඩු ⁣තිබේද? කලාත්මක නිර්මාණයක් අගය කරනුයේ කුමන පදනමක් මතද? "ලස්සන " යන්න පුද්ගලයාගේ මනස විසින් බාහිර වශයෙන් ආරූඪ කරගන්නක්ද නැතිනම් "ලස්සන" යන්න කිසියම් වස්තුවකට අයිති දෙයක්ද යනාදී කරුණු කෙරෙහි සන්නිවේදන දර්ශනයේදී අවධානය යොමු කරනු ලබයි.                           
                                         - ඉන්දික දිසානායක -

Monday, 9 November 2020

සන්නිවේදනයේ සමාජ විද්‍යාව


 සන්නිවේදන අධ්‍යයනයේ ප්‍රභේදයක් වන සාම්ප්‍රදායික සන්නිවේදනය ඉතා වැදගත් වේ. සම්ප්‍රදාය සහ සාම්ප්‍රදායික  සමාජය යන්න වඩාත් විවරණය වන්නට පටන් ගත්තේ සමාජ විද්‍යාව තුළ සන්නිවේදනය නැගීමත් සමඟය. පළමුව විෂයක් වශයෙන් ස්ථාපිත වූයේ සමාජ විද්‍යාව ද මානව විද්‍යාව ද යන්න විවාදාත්මකය. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව වශයෙන් විද්‍යාවන් දෙකක් බිහි වූවත් මෙම විෂයයන් දෙක සම්බන්ධ කරන ලද්දේ සන්නිවේදනයයි. මානව විද්‍යාව තුළ තිබෙන ප්‍රධාන අංශ දෙකක් වන,
              

                1. සංස්කෘතික මානව විද්‍යාව 
                2. භෞතික මානව විද්‍යාව 
යන විෂයන්හි අන්තර්ගතය එකිනෙක හා සම්බන්ධ කරනුයේ සන්නිවේදනයයි. එම නිසා සන්නිවේදන දර්ශනය මානව විද්‍යාවෙන් හා සමාජ විද්‍යාවෙන් ඉවත් කළ නොහැක.
   

 විධිමත් ලෙස සමාජ සන්නිවේදන ක්‍රියාවලිය දාර්ශනික ලෙස විග්‍රහ කරන ලද්දේ Auguste Comte සහ Karl Marx යන සමාජ චින්තකයන් දෙදෙනාය.  ඔවුන් පුරෝගාමී සමාජ විද්‍යා දාර්ශනිකයන් වන්නේ සමාජ ආකෘතිය නිවැරදි ලෙස ගොඩනඟන ලද නිසාය. විධිමත් සමාජ ආකෘතිය යනු සන්නිවේදනාත්මක චින්තනයෙන් බිහිවන්නකි. 
  

    ඈත අතීතයේ සිට ම මානව සමූහයන්  එක් එක් සමාජ වල පැවති සන්නිවේදන ක්‍රම එම සමාජ ආකෘතීන් තුළ අඩංගු කළ බව Auguste Comte විසින් පෙන්වා දෙන ලදී. ඔහුගේ මෙම සමාජ විද්‍යාත්මක න්‍යායන් ප්‍රබල  වෙනස්කම් සහිතව සමාජ දර්ශනයක් වශයෙන් සැළසුම් කළේ Karl Marx විසින් ය. එහිදී ඔහුගේ සහයකයා බවට පත් වූයේ Friedrich Engels ය.                                       

 Karl Marx හා Friedrich Engels ගේ සමාජ සන්නිවේදන දර්ශනය හුදෙක්ම දේශපාලන බලය ඉක්ම වූවක් බව අධ්‍යයනයේදී පෙනී යයි. කොම්ට් ගේ මතය වූයේ " ස්වාභාවධර්මය අධ්‍යයනය කරනවා සේම මානව චර්යාවද හැදෑරිය යුතු බවයි." මෙම  මතවාදය මාර්ක්ස් සහ ඒන්ගල්ස් විසින් වර්ධනය කරන ලදී. ඒ අනුව ප්‍රධාන සමාජ විද්‍යා සිද්ධාන්තයන් දෙකක් වන සමාජ සචලනය හා සමාජ ස්ථායිතා  යන සිද්ධාන්තයන් සෑම සමාජයකටම පොදු වූවත් මෙම සිද්ධාන්තයන්ද පරිණාමයට පත් වන බව පෙන්වා දෙන ලදී.  

කාල් මාර්ක්ස් සමාජ බලවේග පිළිබඳව අධ්‍යයනය කරන ලදී. ඒ අනුව ඔහු විසින් සමාජයක හිමිකරුවන් සහ කොටස් කරුවන් වෙනස් වන ආකාරය පෙන්වා දෙන ලදී. මාර්ක්ස්ගේ විග්‍රහය අනුව ජන සමාජය කෘෂි ආර්ථිකයකින් කාර්මික ආර්ථිකයකට මානව කණ්ඩායම් ප්‍රවේශ වීම විග්‍රහ කිරීම ඔහුගේ සන්නිවේදන චින්තනයයි. සමාජමය ක්‍රියාවලියේ වෙනස්කම් සිදු වීම ප්‍රාථමික සන්නිවේදන සාධකයකි. 

                                      - ඉන්දික දිසානායක -

Thursday, 5 November 2020

සන්නිවේදනයේ දර්ශනය



 දර්ශනය යන්න සිංහල භාෂා⁣වේදී "දැකීම" යන්න අර්ථවත් කිරීමට භාවිතා කරයි. 

උදා: හිරු බැසගෙන යන මොහොතේ බටහිර අහස චමත්කාරජනක දර්නශයකි.

ඉහත උදාහරණ⁣යෙන් අප අදහස් කරනුයේ ඒ මොහොතේ අපට දක්නට ලැබෙන දෙයක් පිළිබඳවයි. නමුත් දර්ශනය නැමැති විෂය ක්ෂේත්‍රය තුළ අප එය භාවිතා කරනුයේ මෙවන් සරල අර්ථයකින් නොවෙයි.

එනම් බුද්ධිෙයන් දැකීම හෙවත් නැණසින් දැකීම ලෙස නම් කළ හැකිය. බෞද්ධ චින්තාව තුළ යහපත් දැක්ම (සම්මා දිට්ඨී) වශයෙන් අර්ථවත් කරන දෙය හා සමාන වේ. ඒබැවින් සෑම ⁣දෙයක් පිළිබදවම විචාරාත්මක බුද්ධිය මෙ⁣හෙයවා කරනු ලබන විමසුම නැතහොත් ඒ් ඇසුරෙන් ඇති වන දැකීම දර්ශනය ලෙස හැදින්විය හැකිය. මෙසේ යථාර්ථය දැකීම තුළින් බුද්ධිය හෝ නුවණ ගොඩනගා ගැනිම දර්ශනයේ ප්‍රධාන තේමාව වන බව පෙන්වා දිය හැකිය. ඒ් අනුව දර්ශනය යන්න මනුෂ්‍ය චින්තනය හා බුද්ධිය පිළිබදව විමසන විෂය ක්ෂේත්‍රයයක් ලෙස හදුන්වාදීම යෝග්‍ය වෙයි. 

ආචාර්ය  රේමන්ඩ් විලියමිස්ට අනුව සන්නිවේදනය වූ කලී දර්ශනයකින් බිහි වි විෂයන් රැසකට විහිදී ගියා වූ ශාස්ත්‍රයක් බවයි. මානව ශිෂ්ටාචාරෙය් මුල් අවධියට අනුව අදහස්, තොරතුරු සහ ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයාට ගලා යන ක්‍රියාදාමය වශයෙන් සන්නිවේදනය හඳුන්වවන ලදී. පසු කාලීනව මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් දිගු වී ස්ථානයෙන් ස්ථානයකට ලෙස වාහක ස්වරෑපයක් ගන්නා ලදී. 

දර්ශනවාදයට අනුව සන්නිවේදනය "භාෂිත" හෝ "ප්‍රකාශිත" හෝ බිනීම යන අර්ථය ගැන්වෙයි. භාෂිතය යන්න විවිධ ස්වරූප වලින් විග්‍රහ කල හැකිය. එනම් "සෘෂි" භාෂිතය යනු සෘෂිවරයෙකු වශයෙන් පවසන ලද්දක් බවයි. බුද්ධ භාෂිතය ⁣යනු බුදුුුුන් විසින් පවසන ලද යන්නයි. පුරාතන මානව සමාජයේ පැවති ඇදහිලි, විශ්වාස හා යාතු කර්ම තුළද පවතිනුයේ් භාෂිතයයි. අතීත සමාජයේ පැවති ඇදහිලි, විශ්වාස හා යාතු කර්ම තුළද පවතිනුයේ භාෂිතයයි. අතීත සමාජයේ භාෂණයේ යෙදුන යතිවරුන් හැදින්වූයේ "භාණක" ලෙසයි. 

 භාෂණයෙන්   පසුව මානව සමාජයේ බිහි වූ අක්ෂර පදනම් කර ගෙන ලේඛනය, චලනය ඇසුරු කොට ගෙන නර්තනය හා රූපණය බිහි විය. ආචාර්ය රේමන්ඩ් විලියමිස්ට  අනුව සන්නිවේදනය යන විෂය ක්ෂේත්‍රය මානව චින්තනය හා තාක්ෂණය යන විෂය ක්ෂේත්‍ර දෙකක මූලික සම් මිශ්‍රණයකි. ආචාර්ය විලියමිස්ගේ මත හා සංකල්ප බොහෝ දුරට අතීතයේ පැවති සම්භාව්‍ය මත හා සමාන වන බව දිස්වෙයි. 

උදාා ÷ චීනයේ ව්‍යාප්ත වූ අක්ෂරය, ග්‍රීසියේ ව්‍යාප්ත වූ කැටයම්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ලෙන් ලිපි හා ශිලා ලිපි තුලනය කිරීමෙන් හදුනාගත හැකිය. 

ඉහත උදාහරණයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහ කල විට මානව විද්‍යාව, පුරා විද්‍යාව  හා තාක්ෂණය යන විෂයන්ගේ සන්නිවේදනය පෝෂණය වී ඇති බවයි. මෙයින් ගම්‍ය වනුයේ සන්නිවේදන වූ කලි බහු විෂයයික ප්‍රවේශයක් ගන්නා බවයි. 

                                    - ඉන්දික දිසානායක -

Sunday, 1 November 2020

ප්‍රකෘතිය

සන්නිවේදන අධ්‍යයනය නම් වූ විෂය ක්ෂේත්‍රය නිර්මාණය වනුයේ  සමාජ විද්‍යාව නම් වූ විෂය විධිමත් ලෙස බිහි වීමත් සමග ය. සමාජ විද්‍යාවේ ශාඛාවන් සන්නිවේදන අධ්‍යයනයේ හැරවුම් ලක්ෂයන් බවට පත් වූයේ මානව සන්නිවේදනයේ වර්ධනයත් සමඟ ය. සන්නිවේදන අධ්‍යයනයේදී අපට හමු වන සාම්ප්‍රදායික සන්නිවේදනය සහ සමාජය යන්න වඩාත් හොඳින් විශ්ලේෂණය කර ගැනීමට හැකි වන්නේ සමාජ විද්‍යාවේ සන්නිවේදනය වර්ධනයත් සමඟ ය.    

 "ප්‍රකෘතිය" යන පාරිභාෂික වචනය සමාජ විද්‍යාවේදී මුලින් ම හමු විය. ඇත්තටම ප්‍රකෘතිය කියන්නේ මොකක්ද? ප්‍රකෘතිය යනු ස්වභාව ධර්මයයි. මිනිසාගේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීමට අපට කවදා පුළුවන් වෙයිද? සැබෑ මිනිසා යන්න  වර්තමානයේදී කල්පිතයකි. සැබෑ මිනිසාගේ ස්වභාවය හඳුනා ගත හැකි වනුයේ මානව ශිෂ්ටාචාරයේ උත්පත්තිය සිදුවූ මොහොතේදීය. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට " පොළව මත ගෙවුණු දිගු ඉතිහාසය එක් දිනක් ලෙස කල්පනා කළ⁣ හොත් සන්නිවේදනය ඇති වූයේ ඊයේ මැදියම් රැයට නිමේෂයකට පෙරදීය. " සන්නිවේදනයේ ඉතිහාසය එසේ වෙද්දී ප්‍රකෘති මිනිසා දක්නට ලැබෙනුයේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ ය. ප්‍රකෘති මිනිසා සිය අන්තර්කරණය ආරම්භ ⁣කළේ ස්වාභාව ධර්මයත් සමඟ ය. ඒ සඳහා ඔවුන් යොදා ගනු ලැබුවේ සන්නිවේදනයයි. ප්‍රකෘතියේ වෙනස ඉදිරියට ගෙන යන ලද්දේ සන්නිවේදනයයි. මානව ශිෂ්ටාචාරය තුළ ප්‍රකෘති මිනිසා දැකිය හැකි වනුයේ ගෝත්‍රික සමාජ වලටත් පෙරදීය. ඇතැම් විද්වත් අදහස් වලට අනුව ශ්‍රී ලංකාවේ වැදි සමාජය ප්‍රකෘති සමාජයකි. නමුත් එය ප්‍රකෘති සමාජමය ලක්ෂණ වලින් පරිපූර්ණ යැයි නිගමනය කළ හැකිද? ආචාර්ය සෙලිග්මාන්ගේ " The Veddas" කෘතිය තුළ සඳහන් කරුණු වලින් ප්‍රකෘති සමාජයකට අයත් යම් යම් ලක්ෂණ වලින් වැදි සමාජය යුක්ත වුවත් එය සියයට සියයක්ම ප්‍රකෘති සමාජයක් යැයි පැවසිය හැකිද? 

                        තවත් පර්යාලෝකයකින් විග්‍රහ කළ විට ශ්‍රී ලාංකික වැදි සමාජය ප්‍රකෘතියේ විකෘතියකි. මක් නිසාදත් ප්‍රකෘති මිනිසා පරිසරය සමඟ අන්තර් සන්නිවේදනය කරමින් වෙනස් කර ගත් සමාජ ක්‍රමයක දක්නට ලැබෙන ලක්ෂණ මෙහි දක්නට ලැබෙන නිසාය.  සැබැවින්ම මිනිසාට ප්‍රකෘති සමාජය තුළ ජීවත් වීමට නොහැකි වූයේ ඇයි? එයට හේතුව ඔහු සතු සන්නිවේදනය ද?

                                         - ඉන්දික දිසානායක - 

තාක්ෂණය හා සන්නිවේදනය

 මානව ශිෂ්ටාචාරය තුළ තාක්ෂණය හා සන්නිවේදනය අතර ඇත්තේ සමීප සබදතාවයකි. වර්තමාන සමාජ සංස්ථාවන් තුළ තාක්ෂණයෙන්  තොර   පැවැත්මක් ගැන පවා සිතිය නො...