කිසියම් රටක අධ්‍යාපන සමාජ සංස්ථාව ක්‍රියාත්මක වන්නේ ඒ රටේ පවතින සමාජ ක්‍රමය මත යැයි නිගමනය කළ හැකි ය. අධ්‍යාපනය තුළින් බලාපොරොත්තුවෙන් වනුයේ " උසස් තත්ත්වයක් ලගා කර ගැනීමයි". එම තත්වය ලබා ගැනීමට එම සමාජ ක්‍රමය සතුව ශික්ෂණයක් තිබිය යුතු ය. ශ්‍රී ලාංකේය සමාජ ක්‍රමය තුළ ඉගෙන ගැනීමට (Learning ) අවශ්‍ය ශික්ෂණය ලබා දෙනුයේ ආගමික චින්තනය මගින් ය. එම නිසා යමක් නොදන්නා කෙනෙකු ඉගෙනුමක් ලබා ගැනීම යනු අධ්‍යාපනය නම් වන අතර එහිදී උගන්වන ගුරුවරයා සහ ඉගෙනුම ලබන ශිෂ්‍යයා සමීපත්වයක් ගොඩනගා ගන්නා අතර, එම සමීපත්වය තුළ සන්නිවේදනයට සුවිශේෂී තැනක් හිමි වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සන්නිවේදන දර්ශනය ඉතා වැදගත් වේ. සමාජයක් තුළ වර්තමානයේ පවතින සමාජ සංස්ථා අතර අධ්‍යාපනික සමාජ සංස්ථාව තුළ හඳුනාගත හැකි අධ්‍යාපනික ප්‍රභේදයන් ලෙස,
01. විධිමත් අධ්‍යාපනය ( Formal Education)
02. නොවිධිමත් අධ්‍යාපනය ( Non Formal Education)
විධිමත් අධ්‍යාපනය තුළ තිබෙන්නා වූ විෂය මාලාව සතු සන්නිවේදන දර්ශනයක් හඳුනා ගත හැක. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර මෙම සන්නිවේදන දාර්ශනික පසුබිම දැකිය හැක. එලෙසම නොවිධිමත් අධ්‍යාපනය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද මෙය දැකිය හැක.
සමාජානුයෝජනය ( sociolisation) යන සංකල්පය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම දැකිය හැක. ඒ අනුව ප්‍රාථමික මානවයා තම පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් දැනුම සොයා යෑම සිදු කරන ලදී. එහිදී සමාජානුයෝජනය ප්‍රබල විය. සැබැවින්ම සමාජානුයෝජනයේදී සිදුවූයේ සමාජය අපේක්ෂා කරන තත්ත්වයකට මානවයා අනුවර්තනය කිරීමකි. මෙම ක්‍රියාවලියේදී සමාජ සන්නිවේදනය පුළුල් ලෙස භාවිතා කරන ලදී. මෙය පහත දැක්වෙන උදාහරණයෙන් පැහැදිලි වේ.
ස්වදේශිකත්ව අන්තර් ඥානය තුළ ජන වෙදකමට සුවිශේෂී තැනක් හිමිවේ. මෙම වෙදකම පරපුරෙන් ගමන් කළේ සමාජ සන්නිවේදනය නිසා ය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දැනුම නොහොත් ස්වදේශිකත්ව අන්තර් ඥානය ( Indigenous Knowledge) තුළ තිබෙනුයේ සමාජ සන්නිවේදනය ක්‍රියාවලියයි. මෙම දැනුම සම්භාරය යම් විකෘතියකට ලක්වන්නේ නම් ලක් වන්නේ නම් එසේ වනුයේ වෙනත් සමාජ ක්‍රමයක ආභාෂයට අනුවය.
ස්වදේශික හෝ විදේශික යන භේදයකින් තොරව සාක්ෂරතාවය (Literacy) ලබා ගැනීම යනු සහපත් සමාජ මානවයෙක් ගොඩනැඟීමකි. සාක්ෂරතා සංකල්පයේදී අධ්‍යාපනය සුවිශේෂි වේ. ඒ අනුව අධ්‍යාපනයට සන්නිවේදන දර්ශනයක් තිබිය යුතුය. සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ සන්නිවේදන දර්ශනය දැකිය හැකි ද? එසේ නම් එය වර්තමානයට ගළපා ගත යුතුද? උදාහරණයක් ලෙස,
* ස්වදේශිකත්ව අධ්‍යාපනය තුළ හඳුනා ගත හැකි " සකස්කඩ"," බුද්ධ ගජ්ජය", " ගණ දෙවි හෑල්ල" හා " වදන් කවි" වැනි ග්‍රන්ථ ඉතා වටිනා මූලාශ්‍රයන් ය. මෙම මූලාශ්‍රයන් තුළ තුළ පැහැදිලිවම ස්වදේශිකත්වය අධ්‍යාපනයේ සන්නිවේදන දර්ශනය හඳුනාගත හැක. පහත දැක්වෙනුයේ වදන් කවි පොතේ එක් කවියකි.
එක මත ලුහු යැ යි දැන කියමින්නෙ
යුග මත දිගු යැ යි ගුරු පවසන්නේ
වෙනමත තුනකින් පුලුත කියන්නේ
අඩ මත දැන ගන් හසකුර යන්නේ
මාත්‍රා එකක් ඇති අක්ෂරය ලඝු හෙවත් ලුහු නමින්ද, මාත්‍රා දෙකක් ඇති අක්ෂරය ගුරු හෙවත් දිගු නමින් ද , මාත්‍රා තුනක් ඇති අක්ෂරය පුලුත නමින් ද හඳුන්වනු ලැබේ. හල් අකුරුවල ඇත්තේ මාත්‍රා භාගයක් හෙවත් දෙකෙන් පංගුවකි.
මෙයින් ගම්‍ය වනුයේ ස්වදේශිකත්ව අධ්‍යාපනික සන්නිවේදන දර්ශනයයි. එසේ නම් වර්තමාන අධ්‍යාපනයටද වඩාත් යෝග්‍ය අධ්‍යාපනික සන්නිවේදන දර්ශනයක් අවැසි නොවේ ද ?
- ඉන්දික දිසානායක -
No comments:
Post a Comment