මානව සමාජය තුළ කලාව, සාහිත්‍ය, සෞන්දර්ය හා සංස්කෘතිය සුවිශේෂී වේ. මෙම විෂයයන් තුළ සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ බොහෝ සංකල්පයන් හඳුනා ගත හැක. ඒ අනුව,
01. කලාව සහ සන්නිවේදනය.
02. සාහිත්‍ය හා සන්නිවේදනය.
03. සෞන්දර්ය හා සන්නිවේදනය.
04. සංස්කෘතිය හා සන්නිවේදනය.
ඉහත සඳහන් විෂයන් තුළ සන්නිවේදනයේ දාර්ශනික පසුබිම හඳුනාගත හැකිය.
මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම උදෙසා මානව චින්තනය, අක්ෂර මාලාව පදනම් කර ගත් දැනුම ඉතා වැදගත් විය. මිනිසා විසින් අක්ෂර මාලාවක් නිපදවා ගැනීම ඔහුගේ චින්තනය සංවර්ධනයට මූලික වශයෙන් දායක විය. එසේ වූයේ මානව චින්තනය ලේඛනය ඔස්සේ සටහන් කළ හැකි නිසාය. ලේඛනයේ දියුණුවත් මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් නිසා සාහිත්‍ය තුළ අන්තර්ගත වන සන්නිවේදන දර්ශනය විවිධ වෙනස්වීම් වලට ලක් වෙන ලදී.
මිනිස් සමාජය සාක්ෂරතාවයෙන් දියුණු වෙත්ම ලිවීම, කියවීම සහ ශ්‍රවණය ඔස්සේ සාහිත්‍ය තුළ ගැබ් වූ සන්නිවේදන දර්ශනය ගොඩ නැගිණි. සංස්කෘතික මානව විද්‍යාව තුළ පුළුල් වූ සන්නිවේදන ක්‍රියාවලියක් අපට හඳුනාගත හැකිය.
නිර්මාණාත්මක බව මානවයාට සුවිශේෂී වූයේ භාෂා භාවිතය සමඟය. ඒ අනුව මිනිසා සතු සාහිත්‍ය ධාරාවේ ඉහළම ඵලය වූයේ නිර්මාණාත්මක සන්නිවේදනයයි. නිර්මාණාත්මක සන්නිවේදනයේ මූලයන් වූයේ ජන කතාව, ජන කවිය, ජන ගායනා... පාදක කර ගත් ජනශ්‍රැතියයි. ජනශ්‍රැතිය වූ කලී අතීත, වර්තමාන හා අනාගත මානව නිර්මාණයන් කෙරෙහි බලපාන සමාජ ප්‍රපංචයකි.
Raymond Williams නම් වූ සන්නිවේදන විශාරද වරයාගේ ප්‍රමුඛ කෘතියක් වන " Communications" කෘතියේ සඳහන් වනුයේ සන්නිවේදනය වූ කලී යම් කිසි දර්ශනයක් සමඟ ඒකාබද්ධ වන සංකල්පයක් බවයි..
සාහිත්‍යකින් තොරව සැබෑ මානව සමාජයක ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක. සාහිත්‍ය තුළ තිබෙන්නා වූ සන්නිවේදන ක්‍රියාවලිය සබෑ මානව සමාජයක් නිර්මාණය කිරීමෙහිලා ඉතා වැදගත් වන බව නොඅනුමානය.
- ඉන්දික දිසානායක -
No comments:
Post a Comment