Followers

Wednesday, 9 December 2020

තාක්ෂණය හා සන්නිවේදනය


 මානව ශිෂ්ටාචාරය තුළ තාක්ෂණය හා සන්නිවේදනය අතර ඇත්තේ සමීප සබදතාවයකි. වර්තමාන සමාජ සංස්ථාවන් තුළ තාක්ෂණයෙන්  තොර   පැවැත්මක් ගැන පවා සිතිය නොහැක. සමකාලීන සමාජයේ තාක්ෂණය යන වචනය බහුලව මිනිසා විසින් බහුලව යොදා ගනියි. තාක්ෂණයේ විවිධ ප්‍රෙභ්දයන් සමාජ  සංස්ථථාවන් තුළට සිදු කරන බලපෑම විවිධ ස්වරූපයන්ගෙන් යුක්ත වේ. වර්තමාන සමාජයේ  ප්‍රබලතම තාක්ෂණික ප්‍රභේදය තොරතුරු තාක්ෂණය යි. ගෝලීයකරණය වූ සමාජයේ ප්‍රධාන තාක්ෂණික සංරචකය වනුයේ තොරතුරු තාක්ෂණයයි.

සන්නිවේදනයෙහි තාක්ෂණික පර්යාවලෝකය ( දෘෂ්ටි වාදය ) විග්‍රහ කළ විට සන්නවේදනයේ ස්වාභාවය හා  ව්‍යාප්තිය කෙරෙහි තොරතුරු තාක්ෂණය ප්‍රබල බලපෑමක් සිදු කොට ඇත. සාම්ප්‍රදායික සමාජයේ සිට පශ්චාත් නූතන සමාජයේ මානවයාගේ හැසිරීම්  හැඩගැස්වීමට තාක්ෂණය බෙහෙවින් බලපෑම් කරන ලදි. වර්තමානය වන විට සන්නිවේදනය මෙහෙයවන ප්‍රධාන බලවේගය බවට පත්ව සිටින්නේ තාක්ෂණය යි. තාක්ෂණය සන්නිවේදනය නම් වූ සංකල්පය ව්‍යාප්තියට මෙන්ම භාවිතයට ද මහගු පිටුවහලක් වී ඇති බව ශිෂ්ටාචාරයේ පරිණාමීය විශ්ලේෂණයෙන් පැහැදිලි වේ. තාක්ෂණය සමග මිනිසාගේ ⁣භෞතික සංස්කෘතිය තුළ භාවිතා කරන ලද  උපකරණ ද බොහෝ වෙනස් විය.
      
                 උදා - ගල් ලෑල්ල හා ගල් කූර වෙනුවට පොත හා පෑන, පැන්සල පැමිණීම.

එලෙසම භාෂණය, රූපණය, යතු කර්ම, චර්යා, ඇදහිලිි, ආගමික චින්තාවන් තාක්ෂණය තුළින් පෝෂණය වූ අයුරු අවබෝධ කර ගත හැක. භාෂණය හා භාෂණ රටාවන්  මානව සන්නිවේදනයේ සුවිශේෂී මං සළකුණු ලෙස  හඳුනාගත හැක. ප්‍රාථමික සමාජයේ විසූ මානවයාගේ භාෂණය පිළිබදව අධ්‍යනය  පසු කාලයේ දී වාග් විද්‍යාව  තුළ පුළුල් විෂයක් බවට පරිවර්තනය විය. මානව භාෂණය සමාජය තුළ එක පාරටම බිහි වූවක් නොව, එය ක්‍රමයෙන් වර්ධනය වූවකි. 

බෞද්ධයන්ගේ අත්පොතක් වූ ධම්ම පදය පිළිබදව අධ්‍යනය කළ විට තාක්ෂණය මානව සමාජය සමඟ දැක් වූ සබදතාවය මැනවින් විග්‍රහ කළ හැකිය. ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ පස් වන ගාථාව වන,

 " උදකංහි නයන්තති    නෙත්තිකා
    උසුකාරා නමයන්ති   තේජනං
    දාරුන්  නමයන්ති       තච්චකා
    අත්තානං දමයන්ති   පණ්ඩිතා

මෙම ගාථාවට තුළින් සමාජය තුළ තාක්ෂණය භාවිතා වූ ආකාරය පහත පරිදි විග්‍රහ කළ හැකිය.

" කෙත් වත් සී සෑම් ඈ කටයුතු සඳහා දියගෙනයන්නෝ ( දියාළුවෝ ) තමන් අභිමත තැනකට දිය ගෙනයති. හී වඩුවෝ හී දඩු නමති. යකඩ, ලෝහ වැඩ කරන්නෝ තමන් රිසි  සේ නොයෙක් අතට හි දඩු ඇදහැරීම්, නැවීම් කරති. වඩුවෝ දැව දඩු නමති. නුවණැත්තෝ ( පඩිවරු ) තමන්ගේ සිත තමන් අභිමත ලෙස ඉක්මවා ගනිති"

දියාළුවෝ, රුක් වඩුවෝ සහ ලෝ කුරුවෝ තම ශිල්පයන් තුළ තාක්ෂණය පදනම් කර ගෙන විවිධ දේ සිදු කරති. එය ඔවුන් විවිධ නිර්මාණයන් ඔස්සේ ලොවට ප්‍රකාෂ කරති. මෙම වස්තු බීජය පදනම් කරගෙන ගීත සාහිත්‍ය තුළ නිර්මාණය වූ ගීතයක් ලෙස,

දියාළුවෝ වේලි තනා ඇල පුරවා දිය හරවා
රන්වන් රන් වියැට වලින් අටු පුරවා නම්
රුක් වඩුවෝ ලී කපලා යතු ගාලා හැඩ ගහලා
මල්කම් ලියකම් ඇඳ පුටු රුවට තනානම්
ලෝකුරුවෝ ගිනියම් කොට යකඩ තලා පණ පොවලා
මුවහත ඇති අවි ආයුධ නිම කරවා නම්...
සසර පුරා සරන තුරා දුවන පනින දඟලන හිත
දමනය කර සුවපත් වෙයි නුවණක් ඇත්නම්

තොරතුරු සමාජයේ ජීවත් වන මානවයා තොරතුරු එක් රැස් කර ගැනීම සඳහා වර්තමානයේ දී පරිගණක තාක්ෂණය භාවිතා කරයි. මෙම තාක්ෂණය පැමිණීමත් සමග සන්නිවේදනය තුළ තාක්ෂණය භාවිතය තව දුරටත් පුළුල් විය. ඒ අනුව තොරතුරු එක් රැස් කිරීම, තොරතුරු ගබඩා කිරිම හා තොරතුරු ආපසු ගැනීම යන ක්‍රියාවලීන් මානවයා විසින් පරිගණක කේන්ද්‍රීයව සිදු කරයි. එම නිසා සන්නිවේදනය තුළ තාක්ෂණික පර්යාවලෝකය පරිගණක කේන්ද්‍රීය දෘෂ්ටි වාදයක් දක්වා පැමිණ ඇත.
- ඉන්දික දිසානායක-

Friday, 4 December 2020

ඉතිහාසය හා සන්නිවේදනය.


 මානව ශිෂ්ටාචාරය තුළ තිබෙන සෑම මානව සමාජයක් සතුවම ලියැවී තිබෙන වංශ කතාවක් ඇත. එය ඉතිහාසය නම් වේ. ඉතිහාසය තුළ එක් එක් සමාජ ක්‍රමයන්හි වාසය කරන ලද ජන සමූහයන් වල පරිණාමය හා ඔවුනගේ වෙනස් වීම් සිදු වූ ආකාරය පිළිබඳව මනාව විස්තර වේ. මානව ඉතිහාසය තුළ සන්නිවේදනයට ප්‍රමුඛ ස්ථානයක් ලැබී තිබෙන්නේ එම නිසාය. 
 
මුල් අවස්ථවේදී සමාජ ක්‍රමය  තුළ භාෂණය මගින් ඇරඹුනා වූ සන්නිවේදනය,  මුල් අවස්ථාවේදී මුඛ පරම්පරාගත කතා වස්තු වලින් ආරම්භ වී පසුව අක්ෂර මාලාවක් බිහි කිරීම දක්වා ගමන් කරන ලදී. භාෂණයේ දී තිබුණු සීමිත භාවය අසීමිත වීමට අක්ෂර මාලාව බෙහෙවින් හේතු විය. ඒ අනුව මානව ඉතිහාසය තුළ ලේඛන කලාවේ ආරම්භය සිදු විය. 

සන්නිවේදන දර්ශන⁣ය යන්න විවිධ පර්යාවලෝක වලින් විග්‍රහ කල හැකි බව මෙයට පෙර ලේඛන වලදී සඳහන් කළෙමි. ඒ අනුව සන්නිවේදන දර්ශනයේ ඉතිහාසය නැමති පර්යාවලෝකය විග්‍රහ කිරීමේදී පෙර අපරදිග බිහි වූ ඓතිහාසික කෘතීන් ගේ ආභාෂය ඉතා වැදගත් වේ.

පෙරදිග කෘතියක් වශයෙන් සැළකෙන මහානාම හිමියන් විසින් රචනා කරන ලද මහා වංශයට ප්‍රමුඛස්ථානයක් ලැබේ. මෙම ඓතිහාසික කෘතිය තුළ සන්නිවේදන දර්ශනයේ පර්යාවලෝකනයක් දැකිය හැක. මහා වංශයට පසුව බිහි වූ චූල වංශය, ථූප වංශය, රාජ රත්නාකරනය යන කෘතීන් ද වංශ කතා සන්නිවේදනයේ ප්‍රමුඛ කෘතීන් වේ. යමෙකුට මෙම කෘති දෙස විවිධ දෘෂ්ටි කෝණ වලින් බැලිය හැක. සන්නිවේදනාා්තමක දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කළ විට මෙම කෘතීන් තුළ මිනිසාගේ ජීවන ශෛලිය හා සිතුම් පැතුම් විග්‍රහ කෙරෙන කැටපත් පවුරු ලෙස විස්තර කළ හැක. 

අපර දිග ග්‍රන්ථ අතර ග්‍රීසියේ විසූ හෝමර් නම් වූ කවියා රචනා කරන ලද වීර කාව්‍ය දෙකක් වන ,

                  01. ඉලියඩ්  (Illiad)
                  02. ඔඩෙසි  (Odyssey)

The Illiad, The Odyssey are Homer's epics about the Greek hero Ulyses.මෙම කාව්‍ය පිළිබඳව සලකා බැලූ විට සන්නිවේදන දර්ශනයේ ඉතිහාසය පිළිබඳව යම් නිගමනයකට එළඹිය හැක. හෝමර් නම් වූ කවියා ජීවත් වූයේ ක්‍රි.පු 8 වන සියවසේ දී ය. ඔහු විසින් රචනා කරන ලද වීර කාව්‍ය තුළ දක්නට ඇත්තේ මුඛ පරම්පරා ගතව එනු ලබන කතා සමූහයක් බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. 

The Epic (මහා කාව්‍ය) is a long poem relating the stufferings and triumphs of a hero or heroes. It is usually full of adventure, love, sufferings and ultimate victory. හෝමර් විසින් ලියන ලද කාව්‍ය මහා කාව්‍ය ලෙස ද හදුන්වයි. එම කවි දිගු කවි වන අතර ඒවා තුළ  වීරයන්ගේ සහ  වීරවරුන්ගේ ජයග්‍රහණයන් සහා ඒවායේ හැගීම් අන්තර්ගත විය. එම නිසා ඒවා වීර කාව්‍ය නම් විය. ඒවා තුළ ත්‍රාසය, ආදරය, පෙළීම් සහ යුධ විජයග්‍රහණයේ හැගීම් අන්තර්ගත විය. 

India has two famous epics Ramayanaya ( Valmiki) and Mahabharata ( Vyasa). මහා භාරතයේ දැකිය හැකි ඉතිහාස කතා ලෙස රාමායණයය හා මහා භාරතය හැදින්විිිය හැක. මේවාද හෝමෝගේ වීර කාව්‍යන් හා සමානය. රාමායණය ක්‍රි.පු 3 වන සියවසේදී පමණ රචනා වී ඇත. රාමායණය වැදගත් වන්නේ ලාංකීය පුරාවෘත්තයක් වන රාම රාවණා ගැටුම ඇතුළත් සංග්‍රාමය එහි අන්තර්ගතව තිබීමයි. මහා භාරතය යනු ක්‍රි.පු 500ට ඉහත දී රචනා කරන ලද කෘතියකි. එහි ද විග්‍රහ  වන්නේ කුරු හා පාණ්ඩව සංග්‍රාමය යි. එම කෘතිය තුළ අඩංගු වන්නා වූ යුධමය ජවනිකාවන් හින්දු මහා කාව්‍යක් වන භගවත් ගීතිකාව ආශ්‍රිතව ගොඩ නැගී ඇත. 

ඉහත කරුණු වලින් අපට ගම්‍ය වනුයේ සන්නිවේදන දර්ශනයේ එක්තරා පර්යාවලෝකයක් වූ ඉතිහාසය පුළුල් ශාස්ත්‍රයක් වීමට පෙරදිග හා අපරදිග රාජ්‍යයන් තුළ බිහි වූ ඓතිහාසික කෘතීන් ඉමහත් දායකත්වයක් සැපයූ බවයි. 

                                      - ඉන්දික දිසානායක-   
  

Sunday, 29 November 2020

අධ්‍යාපනය හා සන්නිවේදනය


 කිසියම් රටක අධ්‍යාපන සමාජ සංස්ථාව ක්‍රියාත්මක වන්නේ ඒ රටේ පවතින සමාජ ක්‍රමය මත යැයි නිගමනය කළ හැකි ය. අධ්‍යාපනය තුළින් බලාපොරොත්තුවෙන් වනුයේ " උසස් තත්ත්වයක් ලගා කර ගැනීමයි". එම තත්වය ලබා ගැනීමට එම සමාජ ක්‍රමය සතුව ශික්ෂණයක් තිබිය යුතු ය. ශ්‍රී ලාංකේය සමාජ ක්‍රමය තුළ ඉගෙන ගැනීමට (Learning ) අවශ්‍ය ශික්ෂණය ලබා දෙනුයේ ආගමික චින්තනය මගින් ය. එම නිසා යමක් නොදන්නා කෙනෙකු ඉගෙනුමක් ලබා ගැනීම යනු අධ්‍යාපනය නම් වන අතර එහිදී උගන්වන ගුරුවරයා සහ  ඉගෙනුම ලබන ශිෂ්‍යයා සමීපත්වයක් ගොඩනගා ගන්නා අතර,  එම සමීපත්වය තුළ සන්නිවේදනයට සුවිශේෂී තැනක් හිමි වේ. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සන්නිවේදන දර්ශනය ඉතා වැදගත් වේ. සමාජයක් තුළ වර්තමානයේ පවතින සමාජ සංස්ථා අතර අධ්‍යාපනික සමාජ සංස්ථාව තුළ හඳුනාගත හැකි අධ්‍යාපනික ප්‍රභේදයන් ලෙස,  

01. විධිමත් අධ්‍යාපනය ( Formal Education)

02. නොවිධිමත් අධ්‍යාපනය ( Non Formal Education)

විධිමත් අධ්‍යාපනය තුළ තිබෙන්නා වූ විෂය මාලාව සතු සන්නිවේදන දර්ශනයක් හඳුනා ගත හැක. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර  මෙම සන්නිවේදන දාර්ශනික පසුබිම දැකිය හැක. එලෙසම නොවිධිමත් අධ්‍යාපනය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද මෙය දැකිය හැක.

සමාජානුයෝජනය ( sociolisation) යන සංකල්පය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම දැකිය හැක. ඒ අනුව ප්‍රාථමික මානවයා තම පැවැත්ම වෙනුවෙන් විවිධාකාරයෙන් දැනුම සොයා යෑම සිදු කරන ලදී. එහිදී සමාජානුයෝජනය ප්‍රබල විය. සැබැවින්ම සමාජානුයෝජනයේදී සිදුවූයේ සමාජය අපේක්ෂා කරන තත්ත්වයකට මානවයා අනුවර්තනය කිරීමකි. මෙම ක්‍රියාවලියේදී  සමාජ සන්නිවේදනය පුළුල් ලෙස භාවිතා කරන ලදී. මෙය පහත දැක්වෙන උදාහරණයෙන් පැහැදිලි වේ. 

ස්වදේශිකත්ව අන්තර් ඥානය තුළ ජන වෙදකමට සුවිශේෂී තැනක් හිමිවේ. මෙම වෙදකම පරපුරෙන් ගමන් කළේ සමාජ සන්නිවේදනය නිසා ය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන  දැනුම නොහොත් ස්වදේශිකත්ව අන්තර් ඥානය ( Indigenous Knowledge) තුළ තිබෙනුයේ සමාජ සන්නිවේදනය ක්‍රියාවලියයි. මෙම දැනුම සම්භාරය යම් විකෘතියකට ලක්වන්නේ නම් ලක් වන්නේ නම් එසේ වනුයේ වෙනත් සමාජ ක්‍රමයක ආභාෂයට අනුවය. 

ස්වදේශික හෝ විදේශික යන භේදයකින් තොරව සාක්ෂරතාවය (Literacy) ලබා ගැනීම යනු සහපත් සමාජ මානවයෙක් ගොඩනැඟීමකි. සාක්ෂරතා සංකල්පයේදී අධ්‍යාපනය සුවිශේෂි වේ. ඒ අනුව අධ්‍යාපනයට සන්නිවේදන දර්ශනයක් තිබිය යුතුය. සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ සන්නිවේදන දර්ශනය දැකිය හැකි ද? එසේ නම් එය වර්තමානයට ගළපා ගත යුතුද? උදාහරණයක් ලෙස,

           * ස්වදේශිකත්ව අධ්‍යාපනය තුළ හඳුනා ගත හැකි " සකස්කඩ"," බුද්ධ ගජ්ජය", " ගණ දෙවි හෑල්ල" හා " වදන් කවි" වැනි ග්‍රන්ථ ඉතා වටිනා මූලාශ්‍රයන් ය.⁣ මෙම මූලාශ්‍රයන් තුළ තුළ පැහැදිලිවම ස්වදේශිකත්වය අධ්‍යාපනයේ සන්නිවේදන  දර්ශනය හඳුනාගත හැක. පහත දැක්වෙනුයේ වදන් කවි පොතේ එක් කවියකි. 

   එක මත ලුහු යැ යි දැන        කියමින්නෙ

   යුග මත දිගු  යැ යි ගුරු         පවසන්නේ 

   වෙනමත තුනකින් පුලුත      කියන්නේ 

   අඩ මත දැන ගන් හසකුර     යන්නේ

මාත්‍රා එකක් ඇති අක්ෂරය ලඝු හෙවත් ලුහු නමින්ද, මාත්‍රා දෙකක් ඇති අක්ෂරය ගුරු හෙවත් දිගු නමින් ද , මාත්‍රා තුනක් ඇති අක්ෂරය පුලුත නමින් ද හඳුන්වනු ලැබේ. හල් අකුරුවල ඇත්තේ මාත්‍රා භාගයක් හෙවත් දෙකෙන් පංගුවකි.

මෙයින් ගම්‍ය වනුයේ ස්වදේශිකත්ව අධ්‍යාපනික සන්නිවේදන දර්ශනයයි. එසේ නම් වර්තමාන අධ්‍යාපනයටද වඩාත් යෝග්‍ය අධ්‍යාපනික සන්නිවේදන දර්ශනයක් අවැසි නොවේ ද ?

                               - ඉන්දික දිසානායක -



   



Wednesday, 25 November 2020

ආගම හා සන්නිවේදනය


 සමාජ සංයුක්ත භාවය නිර්මාණය වනුයේ සමාජ සංස්ථා එකතු වීමෙනි. සමාජ සංස්ථා වක් වන ආගම සහ සන්නිවේදනය අතර පවතිනුයේ සමීප සබදතාවයකි. ජනශ්‍රැති අධ්‍යයනයේදී  මේ බව මනාව තහවුරැ වේ. එහිදී හමු වන යාතුකර්ම පිළිබඳව විශ්ලේෂණය කිරීමේ දී මෙම පසුබිම මැනවින් හඳුනාගත හැකිය. ආගමික පසුබිම හා යාතුකර්ම එකිනෙකින් වෙන් කිරීම සිදු කළ නොහැකිය.

සන්නිවේදන ශක්තිය යන්න සමාජ සංස්ථාව තුළ රැදී පවතින්නේ හුදෙක්ම ආගමික සිද්ධාන්ත පද්ධතියක් සමඟය. මේ බව සනාථ වනුයේ " ගිලන් වූ ගත මෙන්ම ගිිිලන් වූ සිත ද සන්නිවේදන ශක්තියකින් සුවපත් කළ හැකිය" යන්න තේමාව මතය. පුද්ගලයාගේ මනස ඒකාග්‍රතාවයකින් පවත්වා ගැනීම සඳහා ධර්ම සන්දේශයන් බෙහෙවින් හේතු විය.  

සාහිත්‍ය කලා විෂයන් තුළට ධර්ම සන්දේශයන් ඇතුළත් කරන ලද්දේ මානව අවශ්‍යතාවයන් උදෙසාය. ඕනෑම සමාජයන් තුළ බිහි වූ ප්‍රාථමික නිර්මාණයන්ගේ මූලාශ්‍රය වූයේ ධර්ම සන්දේශයන්යය. සෑම ජන සංස්කෘතියක් තුළ තිබෙන්නා වූ ජනශ්‍රැතිය තුළ මූලාශ්‍රයන් වූයේ ධර්ම සන්දේශයන්ය. 

උදාහරණ - ජන කතාව, ජන කවිය, ජන ගායනය, ජන රංග වැනි නිර්මාණයන් තුළ දී ධර්ම සන්දේශ වල ආභාසය දැකිය හැක. විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය තුළ ද ආගමික පසුබිම මැනවින් හඳුනාගත හැකිය. ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී ඉගෙනුම් ප්‍රවේශයන්ගෙන් තොරව ආගමික පසුබිම තුළින් මූලික වනුයේ  " මානවයාගේ යහපත් දිවි පැවැත්මට මනස මුල් කොට ගෙන සිය දිවි පැවැත්ම නිර්මාණය කර ගැනීමයි" 

ඕනෑම ආගමික දර්ශනයකින් සිදු වනුයේ සමාජයේ පවතින විෂම වූ තත්ත්වයන් වෙනස් කිරීම සඳහා සන්නිවේදන ක්‍රියාවලියක් නිර්මාණය කිරීමයි. මෙහි දී සන්නිවේදන ක්‍රියාවලිය මගින් පුද්ගලයාගේ සිත, කය, වචනය සංවර කර ගැනීම උදෙසා ක්‍රියාත්මක විය. සමාජයේ වඩාත් හොඳ දිවි පැවැත්මක් උදෙසා මානවයා සිිිත හික්මවා ගත යුතුය. පුද්ගලයාට තනිව කළ නොහැකි බොහෝ කාර්යයන්   ඔහුට වඩා චිත්ත ශක්තියක් ඇති පුද්ගලයෙකුට කළ හැකි යැයි විශ්වාස කරනු ලබයි.

උදාහරණ - පෙළහර පෑම නොහොත් අධි මානසික බලයක් ක්‍රියාත්මක වීම.

ආගමික සන්නිවේදනයේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට යමක් ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික ශික්ෂණය ලබා ගත හැකිය. මෙසේ ලබා ගන්නා ශික්ෂණය පුද්ගලයාගේ ඉගෙනුම් ක්‍රියාවලියට ද ඉතා ප්‍රයෝජනවත් වේ. 

                                     - ඉන්දික දිසානායක -                   

                                            

Saturday, 21 November 2020

සාහිත්‍ය හා සන්නිවේදනය


 මානව සමාජය තුළ කලාව, සාහිත්‍ය, සෞන්දර්ය හා සංස්කෘතිය සුවිශේෂී  වේ. මෙම විෂයයන් තුළ සන්නිවේදන ක්‍රියාවලිය හා සම්බන්ධ බොහෝ සංකල්පයන් හඳුනා ගත හැක. ඒ අනුව,

        01. කලාව සහ සන්නිවේදනය.

        02. සාහිත්‍ය හා සන්නිවේදනය.

        03. සෞන්දර්ය හා සන්නිවේදනය.

        04. සංස්කෘතිය හා සන්නිවේදනය.

ඉහත සඳහන් විෂයන් තුළ සන්නිවේදනයේ දාර්ශනික පසුබිම හඳුනාගත හැකිය. 

මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම උදෙසා මානව චින්තනය, අක්ෂර මාලාව පදනම් කර ගත් දැනුම ඉතා වැදගත් විය. මිනිසා විසින් අක්ෂර මාලාවක් නිපදවා ගැනීම ඔහුගේ චින්තනය සංවර්ධනයට මූලික වශයෙන් දායක විය. එසේ වූයේ මානව චින්තනය ලේඛනය ඔස්සේ සටහන් කළ හැකි නිසාය. ලේඛනයේ දියුණුවත් මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් නිසා සාහිත්‍ය තුළ අන්තර්ගත වන සන්නිවේදන දර්ශනය විවිධ වෙනස්වීම් වලට ලක් වෙන ලදී. 

මිනිස් සමාජය සාක්ෂරතාවයෙන් දියුණු වෙත්ම ලිවීම, කියවීම සහ ශ්‍රවණය ඔස්සේ සාහිත්‍ය තුළ ගැබ් වූ සන්නිවේදන දර්ශනය ගොඩ නැගිණි. සංස්කෘතික මානව විද්‍යාව තුළ පුළුල් වූ සන්නිවේදන ක්‍රියාවලියක් අපට හඳුනාගත හැකිය. 

නිර්මාණාත්මක බව මානවයාට සුවිශේෂී වූයේ භාෂා භාවිතය සමඟය. ඒ අනුව මිනිසා සතු සාහිත්‍ය ධාරාවේ ඉහළම ඵලය වූයේ නිර්මාණාත්මක සන්නිවේදනයයි. නිර්මාණාත්මක සන්නිවේදනයේ මූලයන් වූයේ ජන කතාව, ජන කවිය, ජන ගායනා... පාදක කර ගත් ජනශ්‍රැතියයි. ජනශ්‍රැතිය වූ කලී අතීත, වර්තමාන හා අනාගත මානව නිර්මාණයන් කෙරෙහි බලපාන සමාජ ප්‍රපංචයකි. 

Raymond Williams නම් වූ සන්නිවේදන විශාරද වරයාගේ ප්‍රමුඛ කෘතියක් වන " Communications" කෘතියේ සඳහන් වනුයේ සන්නිවේදනය වූ කලී යම් කිසි දර්ශනයක් සමඟ ඒකාබද්ධ වන සංකල්පයක් බවයි.. 

සාහිත්‍යකින් තොරව සැබෑ මානව සමාජයක ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක. සාහිත්‍ය තුළ තිබෙන්නා වූ සන්නිවේදන ක්‍රියාවලිය සබෑ මානව සමාජයක් නිර්මාණය කිරීමෙහිලා ඉතා වැදගත් වන බව නොඅනුමානය.

                                       - ඉන්දික දිසානායක -

 


Wednesday, 18 November 2020

සන්නිවේදනය හා මානව විද්‍යාව.


 

මානව විද්‍යාව යන්න ප්‍රාචීනවාදී සහ ප්‍රතිචීනවාදී ඉගෙනුම් සංකල්පයන් තුළ භේදයකින් තොරව හඳුනාගත හැකි සංකල්පයකි. මානව විද්‍යාව යනු, මානව සමූහයාගේ සම්භවය, පැවැත්ම හා සමූහයන්ට බෙදී  යාම වෙනුවෙන් පවත්වන ලද පර්යේෂණ පදනම් කර ගෙන නිර්මාණය වූ විෂය ධාරාවකි. සැබැවින්ම මානව විද්‍යාව යනු දැනුම් ක්ෂේත්‍රයකි. " දැනුම " යන සංකල්පය මානවයා විසින් ගොඩ නගන ලද විශිෂ්ටතම වූ සමාජ ප්‍රපංචයකි. 

දැනුම හා තොරතුරු අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවයකි. බර්ට්‍රන්ඩ්  රසල් නම් වූ  දාර්ශනිකයා දැනුම සහ තොරතුරු අතර පවතින සම්බන්ධතාව පිළිබඳව පර්යේෂණ කරන ලදී. ඔහුගේ දාර්ශනික විග්‍රහයට අනුව,                                   

01. තොරතුරුවල සැගවුණු ඥාානය කොහේද?

02. ඥාානය සැගවුණු තොරතුරු කොහේද?

මෙම දාර්ශනික චින්තනය පාදක කර ගෙන දැනුම් ක්ෂේත්‍රය යන්න ක්‍රමයෙන් සාමාජීය භාවිතයට පැම්ණෙන  ලදී. දැනුම සොයා යෑම යන්න ආගමික ශික්ෂණයකින්  සිදු කළ වූවක් විය. එමෙන්ම පෙරදිග හා අපරදිග රටවල ආගමික ශාස්තෘවරුන්ගේ දේශන තුළද අන්තර්ගත විය.

දැනුම් ක්ෂේත්‍රය යන්න ගතික වේ. එය දිනෙන් දින වර්ධනය කර ගත යුතු සංකල්පයකි. සමාජීය පරිණාමයේ විවිධ අවස්ථාවන් වල ඥාන ගවේෂණය ආකාර දෙකකට සිදුවෙන ලදී.

          01. න්‍යායික දැනුම 

          02. ව්‍යවහාරික දැනුම

ව්‍යවහාරික මානව විද්‍යාඥයන් සන්නිවේදනය යන්න වෙනුවට විඥාපනය යන්න  භාවිතයට ගැනීමට උත්සුක වූහ. ඔවුුුුුුුුුුුන්ගේ දැක්මට අනුව විඥාපනය යන්නෙහි අර්ථය "ඥාානය " හෙවත් දැනුම ලබා ගැනීම යන්නයි. 

ග්‍රීක දර්ශනයේ පදනම වනුයේ ද දැනුම සොයා යෑම යන්නයි. තොරතුරු එක් රැස් කර ගත් පමණින්ම දැනුම ලබා ගත හැකිද? එසේත් නැත්නම් දැනුම ලබා ගැනීම සඳහා තොරතුරු ගවේෂණය කළ යුතු නොවෙයිද? 

මානව විද්‍යාවේ  ප්‍රභේදයන් දෙක වන භෞතික මානව විද්‍යාවත් , සංස්කෘතික මානව විද්‍යාවත් එකට බැඳ තබනුයේ සන්නිවේදනයයි. මෙම ප්‍රධාන විෂය ධාරාවන් දෙකම සන්නිවේදන අධ්‍යයනයේ දාර්ශනික පසුබිම නිර්මාණය කරයි. මෙම ප්‍රධාන විෂයයන් දෙක අධ්‍යයනය කිරීමෙන් සන්නිවේදනයේ මූලිකාංග හඳුනාගත හැකිය. එනම්,

  සන්නිවේදකයා ->සංදේශය -> ග්‍රාහකයා

  (Sender)               (Message)     (Receiver)

මෙම සන්නිවේදන ආකෘතිය තුළ විද්‍යාත්මක පදනමක් දැකිය හැක. මේ අනුව තොරතුරු සම්පාදනය ට වඩා ඥාන ගවේෂණය එම සීමාව ඉක්මවා  පැවති  අවබෝ⁣යක් ලෙස විග්‍රහ කළ හැක.

තොරතුරු සෙවීම ප්‍රාථමික  මානවයාට    පමණක් සීමා නොවූවකි. සෙසු සත්ත්වයන් ද තොරතුරු සෙවීම සිදු කරන ලදී. නමුත් මානවයා සෙසු සත්ත්වයන්ට වඩා උසස් දැනුමක් ලද හෙයින්, මානවයාගේ නිරීක්ෂණය ප්‍රබල හෙයින් එයින් ලබන පරිකල්පනය පාදක කර ගෙන නිර්මාණයන් සිදු කරන ලදී. මෙය සත්ත්ව පරිණාමය තුළ මානවයා ඉහළම තත්ත්වයකට පැමිණීමට හේතු සාධක විය. මෙම සාධක පදනම් කර ගෙන තොරතුරු ගවේෂණය මානවයාගේ අසීමිත කාර්යයක් බවට පත් විය. 

මෙයින් ගම්‍ය වනුයේ සන්නිවේදන අධ්‍යයනයේ දාර්ශනික පසුබිම ගොඩ නැගීමට උපකාරී වනුයේ ව්‍යවහාරික මානව විද්‍යාව බවයි.  

                                       - ඉන්දික දිසානායක -



Sunday, 15 November 2020

සන්නිවේදනයේ ඉගෙනුම.


 

සන්නිවේදන අධ්‍යයනය දාර්ශනික පසුබිමකින් යුක්ත විෂයකි. එම විෂය අධ්‍යයනයේදී අපට හමු වන සංකල්ප දෙකක් ලෙස,

      01. ප්‍රාචීනවාදී සන්නිවේදන සංකල්පය

      02. ප්‍රතිචීනවාදී සන්නිවේදන සංකල්පය 

හැදින්විය හැක. සන්නිවේදන අධ්‍යයන විෂය තුළ මෙම සංකල්ප දෙක එකට එකතු වී සහ නොවී ක්‍රියාත්මක වන අවස්ථා හඳුනාගත හැක. ප්‍රාචීනවාදී සන්නිවේදන ඉගෙනුම් වලට අනුව සෑම විටම අදහස් කරනුයේ සමාජයේ සිටින පුද්ගලයාගේ හැසිරීම ධනාත්මක කිරීමයි. මෙහිදී සෑම විටම පුද්ගලයාගේ අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරනු ලබයි. පුද්ගලයාගේ අධ්‍යාත්මය වඩාත් හොඳ වීමට නම්, ඔහු සමාජය තුළ පිළිබිඹු කරන චර්යාවන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. ප්‍රාචීනවාදී සංකල්පය තුළ ප්‍රබලතම මූලාශ්‍රය ගුරුවරයාය. එම නිසා ගුරුවරයාගේ ඇසුර ලබමින් පුද්ගලයා දැනුම ලබා ගනී. ඒ ඔස්සේ තම චර්යාවන් නිර්මාණය කර ගනී. 

උදාහරණ - දිසාපාමොක් ඇදුරිදු භාවිතා කරන ලද සන්නිවේදන ආකෘතිය.

මෙහිදී දිසාපාමොක් දැනුමෙන් පරිපූර්ණ වූ අතර සෑම විටම උත්තම විය. මේ ඔස්සේ ශිල්පය ලබන සිසු පරපුර විනයකින් යුක්ත ග්‍රාහකයන් විය. දිසාපාමොක් ශිල්පය ලබා දෙන ස්ථානය තක්සලාව නම් විය. ග්‍රීසිය නම් රාජ්‍යයේ මෙවැනි ස්ථාන තිබූ බවට සාක්ෂි ඇත. ඒවා Academy හෝ Lyceum යනුවෙන් හදුන්වන ලදී.

ප්‍රතිචීනවාදී සන්නිවේදන ඉගෙනුම්වල දැක්ම වනුයේ " ඥාණයට දර්ශනයක්" යන්නයි. මෙහිදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ලද්දේ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ය. ඔහු විසින් පරම්පරාවෙන් පරම්පරාවට ඥාණය ගලා යන ආකාරය දාර්ශනිකව විග්‍රහ කරන ලදී. ඒ සඳහා ඔහු විසින් සන්නිවේදන ආකෘතියක් නිර්මාණය කරන ලදීී. ඇරිස්ටෝටල්ට අනුව සන්නිවේදනයේදී ග්‍රාහකයාගේ භූමිකාව සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්⁣බට ගොස් අවබෝධයකින් යුක්ත ග්‍රාහකයෙක් වීමට ශ්‍රවණය ප්‍රගුණ කළ යුතුය. ඒ අනුව ගුරුවරයා සහ ශිෂ්‍යයා තුළින් සන්නිවේදන ග්‍රාහක පරපුරක් නිර්මාණය කරන බවයි. ඇරිස්ටෝටල්ට සමගාමීව  සොක්‍රටීස් සහ ප්ලේටෝ ද  මෙම මතය දරන ලදී. ප්ලේටෝ ගේ සටහන් නම් කරනු ලබන්නේ " සංවාද" සහ " කතිකා" යන නමිනි. 

බුද්ධ කාලීන භාරතයේද " සංවාදය" සන්නිවේදන ක්‍රමවේදයක් විය. ග්‍රීක දර්ශනයේ මෙන්ම භාරත දර්ශනය තුළද සංවාදය විවිධ ඉගෙනුම් කාර්යයන් සඳහා භාවිතා කරන ලදී. 

සන්නිවේදන අධ්‍යයනයේ ඉගෙනුම් සංකල්පය භාරතීය සහ ග්‍රීක දර්ශනයන්ගෙන් පෝෂණය වී ඇති බව ඉහත කරුණු අනුව ගම්‍ය වේ. 

                                        - ඉන්දික දිසානායක -


තාක්ෂණය හා සන්නිවේදනය

 මානව ශිෂ්ටාචාරය තුළ තාක්ෂණය හා සන්නිවේදනය අතර ඇත්තේ සමීප සබදතාවයකි. වර්තමාන සමාජ සංස්ථාවන් තුළ තාක්ෂණයෙන්  තොර   පැවැත්මක් ගැන පවා සිතිය නො...